ඉන්දියන් හමුදාවට යුද්ධය අවසන් කරන්නට ඉඩ නොදීම ඓතිහාසික වැරැද්දක් (1)
ස්විට්සර්ලන්තයේ කනල්කා ගුවන් විදුලිය ‘ගෝඨාගේ යුද්ධය’ (Gota's War) ග‍්‍රන්ථයේ කර්තෘ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රම සමඟ පැවැත්වු සාකච්ඡාවක් ඇසුරිනි.උපුටා ගැනිම ලංකාදීප
ප‍්‍ර: ඔබ වඩාත් ප‍්‍රකට දේශපාලන විචාරකයෙක් ලෙසට. නමුත් ඔබගේ ගෝඨාස් වෝ කියන මේ පොත දුටු ගමන් පාඨකයා ඔබ හඳුනා ගන්නේ යුද විචාරකයෙකු ලෙසට. මෙහි ඔබ විස්තර කරන්නේ යුද්ධය ගැනද?නැත්නම් යුද්ධයට තුඩුදුන් දේශපාලන කරුණු ද නැත්නම් ඒ සියල්ලමද?
පි: මේ යුද්ධය ගැන ලියනවනම් එය යුද වාර්තාකරුවකුට පමණක් ලිවිය හැකි එකක් නොවෙයි. දැන් යුද්ධය අහවර වී ඇති නිසා ලිවිය යුත්තේ සමස්ත ක‍්‍රියාදාමය ගැනයි. දේශපාලනමය කරුණුවලින් පටන්ගෙන ත‍්‍රස්තවාදය දක්වා පැතිරී පසුව එය සිවිල් යුද්ධයක් බවට පත් වූ ආකාරය තමයි විස්තර වන්නේ. අනික මේ යුද්ධය ගැන ලියන විට හැමෝම කල්පනා කළ යුතු දෙයක් තමයි ඇයි මෙහෙම වුණේ කියලා. ඒවා නැතිව ලියන ග‍්‍රන්ථයක් අසම්පූර්ණයි.
ප‍්‍ර: ඔබගේ ග‍්‍රන්ථයේ දේශපාලන කරුණු තිබෙන්නේ 60% ක් විතර. යුද්ධය ගැන තිබෙන්නේ 40% ක් විතරයි නේද?
පි: නැහැ නැහැ 1956 සිට 2002 සටන් විරාම ගිවිසුම දක්වා යුද්ධයක් එක්ක සියලූ කරුණු පොතේ 60% ක් තිබෙනවා. සිවකුමාරන් කියන එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියා 1970 දී නියෝජ්‍ය ඇමැති සෝමවීර චන්ද්‍රසිරිගේ මෝටර් රථයට යාපනයේ බෝම්බ තැබීමේ ඉඳලා කටුනායක ගුවන් තොටුපළට පහර දීම දක්වා සියලූම සිද්ධීන් මේ 60% ට අඩංගුයි. ඉතිරි 40% තමයි අවසන් යුද්ධය ගැන විස්තර වන්නේ.
ප‍්‍ර: ඔබ සඳහන් කරන මේ සෝමසිරි චන්ද්‍රසිරිට බෝම්බ ඇටවීමේ සිද්ධිය මොකක්ද කවුද කළේ මේ ගැන ඒ කාලයේ මේ ගැන වැඩි ප‍්‍රසිද්ධියක් වුණේ නැහැ නේද?
පි: මේ බෝම්බ ප‍්‍රහාරය ඒ කාලයේ හැමෝටම අමුතුදෙයක් වුණා ඒ හින්දම ආණ්ඩුව ඒ පිළිබඳ විස්තර යටපත් කළා. සෝමවීර චන්ද්‍රසිරිටත් උපදෙස් දීලා තිබුණේ කොළඹට ආවට පස්සේ ඔහොම දෙයක් වුණා කියලා තමන්ගේ ඡන්ද කොට්ඨාසයේ අයටවත් කියන්න එපා කියලා. 1970 ජූලි 28 දා (දිනමිණ) පත්තරයේ නිවුස් එකක් පුංචියට දාලා තිබුණා. ඒකේ තිබුණේ සෝමවීර චන්ද්‍රසිරි හෙලිකොප්ටරයකින් යාපනයේ සිට කොළඹට ආවා කියලා විතරයි. බෝම්බ ප‍්‍රහාරයක් ගැන එහි කිසිම සඳහනක් නැහැ. මේ බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කළේ සිවකුමාරන් කියන ත‍්‍රස්තවාදියා.
ප‍්‍ර: මේ බෝම්බය ඇටවූයේ කොහොමද. ඉන් ඔහු බේරුනේ කොහොමද?
පි: සෝමසිරි චන්ද්‍රසිරි යාපනයේ ඉඳලා කොළඹට ඔහුගේ මෝටර් රථයෙන් එන්න කලින් මෝටර් රථය ඇතුළේ මේ බෝම්බය තිබ්බා මගදී පිපිරෙන්න. සෝමසිරි චන්ද්‍රසිරි යාපනයෙන් පිටත් වෙලා එනකොට අතරමගදී හරිජන කුලයට අයත් මිනිස්සු මග රැස්වෙලා හිටියා. ඔහුට සන්දේශයක් බාර දෙන්න. සෝමසිරි චන්ද්‍රසිරි ඒ සන්දේශය භාර ගන්න මෝටර් රථය නවත්වල මිනිස්සු ළඟට ඇවිත් ඉන්න කොට තමයි මෝටර් රථයේ බෝම්බය පිපුරුණේ.
ප‍්‍ර: මේ බෝ්ම්බ ප‍්‍රහාරයට සිවකුමාරන් සම්බන්ධ වූ බව ඔබ කියන්නේ කුමන හේතු සාධක ඇතුවද?
පි: මේ විස්තර අදටත් හොඳින් දන්නවා වර්ධරාජා පෙරුමාල්. ඔවුන් දෙදෙනා එකට ඉගෙන ගෙනත් තිබෙනවා. පෙරුමාල් මේ විස්තර මට කිවුවා. මම සෝමවීර චන්ද්‍රසිරිගේ දුවගෙනුත් ඇහුවා. ඔවුනුත් ඒක අනුමත කළා. ඒ අයටත් ආණ්ඩුවෙන් දැඩි ලෙස උපදෙස් දීලා තිබුණේ මේ සිද්ධිය කාටවත්ම කියන්න එපා කියලයි.
ප‍්‍ර: බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මේ ත‍්‍රස්තවාදයේ ආරම්භය 1976 ඇල්ප‍්‍රඞ් දොරෙයි අප්පා ඝාතනයෙන් කියලයි. නමුත් ඔබ කියන්නේ ඊටත් එහා ගිය ඉතිහාසයක් ගැනද?
පි: අනිවාර්යයෙන්ම. 70 දී සෝමසිරි චන්ද්‍රසිරිට බෝම්බ පුපුරුවලා මරන්න හැදුවා. පස්සේ 1972 දී කයිට්ස් මන්ත‍්‍රීවරයාව සිටි ත්‍යාගරාජාට වෙඩි තිබ්බා. වෙඩි තිබ්බේ සිවකුමාරන්ගෙන් පසුව කරළියට ආපු සත්‍ය සීලන් කියන ත‍්‍රස්තවාදියාත් තවත් කෙනෙකුයි.
ප‍්‍ර: නමුත් මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා වැඩිපුර ප‍්‍රසිද්ධියට පත්වුණේ නැහැ නේද?
පි: ඇයි නැත්තේ. ත්‍යාගරාජාට වෙඩි තැබීමේ සිද්ධිය ඬේලි නිවුස් පත‍්‍රයේ මුල් පිටුවේ පින්තූරත් එක්ක පළවෙලා තිබුණා. ත්‍යාගරාජාගේ පින්තූරයක් වෙඩි වැදුණු බිත්තියේ හිල් තියෙන පින්තූර පත‍්‍රයේ පළ වුණා. සෝමසිරි චන්ද්‍රසිරි සිද්ධියත් පත්තරයේ නොගියාට එක්තරා ආකාරයට රට තුළ පැතිරී තිබුණා. නමුත් මේ ත‍්‍රස්තවාදී වෙඩි තැබීම්වලින් ඝාතනය වුණු පළමු පුද්ගලයා තමයි ඇල්ප‍්‍රඞ් දුරෙයි අප්පා. නමුත් ත‍්‍රස්තවාදයේ ආරම්භය නම් ඇල්ප‍්‍රඞ් දොරෙයි අප්පා නම් නොවෙයි.
ප‍්‍ර: මේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා ආරම්භ වීමට තුඩුදුන් හේතු මොනවා කියලද ඔබ සඳහන් කරන්නේ.
පි: ලංකාවේ තිබූ ඉලංගෙයි තමිල්අරසු කියන පක්ෂය එක්තරා දේශපාලන මතිමතාන්තරයක් ප‍්‍රසිද්ධ කළා. දෙමළ රාජ්‍ය සංකකල්පයක් පිළිබඳව. මේ සංකල්පය දෙමළ සමාජය තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වුණා. මේකේ ආරම්භක සාමාජිකයකු හැටියට සිටි වර්ධරාජා පෙරුමාල් කියන්නේ 1965 දී එවකට තිබූ පෙඩරල් පක්ෂය ඒ වන විට බලයේ සිටි ඩඞ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව සමග සන්ධාන ගත වීම නිසා සටන පාවා දුන්නා යන නිගමනය මත දෙමළ තරුණයන් සංවිධානය වීමට පටන් ගැනීමයි. මේ විදියට දෙමළ තරුණයන් සංවිධානය වෙන්න පටන් ගන්නේ 1969 අවසානයත් සමග මේ දෙමළ රාජ්‍ය සංකල්පය යටතේ තමයි උතුරු නැගෙනහිර මේ දෙමළ පරම්පරාව හැදුණේ වැඩුනේ. මේකෙන් ගැලවෙන්න වර්ධරාජා පෙරුමාල්ට ප‍්‍රභාකරන්ලාට බැරිවුණා.
ප‍්‍ර: වෙනම රාජ්‍ය සංකල්පය දෙමළ නායකයන් කොහොමද දෙමළ තරුණයන්ගේ ඔලූවලට දැම්මේ?
පි: මේ දෙමළ රාජ්‍ය සංකල්පය දෙමළ නායකයන්ට කොහෙන්ද ආවේ. ඒක ආවේ දකුණු ඉන්දියාවෙන්. ඉන්දියාවේ ඉතිහාසය දෙස බැලූවාම දකුණු ඉන්දියාවේ මේ බෙදුම්වාදය ක‍්‍රියාත්මක වුණා. දකුණු ඉන්දියාව ඉන්දියාවෙන් වෙන්කරලා දකුණු ඉන්දියාව වෙනමම යටත් විජිතයක් ලෙස පාලනය කළ යුතු බවටත් බිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීම තිබුණේ මෙහෙමයි. Government of Hindustan iy Government of Tamil Nadu වශයෙන්. මේ බෙදුම්වාදය මුල් කරගෙන 1949 දී දකුණූ ඉන්දියාවේ DMK පක්ෂය මුල්වරට බිහි වෙනවා. එයට සමගාමීව ලංකාවෙන් 1949 දී වෙනම රාජ්‍ය සංකල්පය යටතේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පිහිටුවනවා. බැලූවාම ඉන්දියාව් බෙදුම්වාදයයි ලංකාවේ බෙදුම්වාදයයි දෙකම එකට සමාන්තරව ගමන් කරපු ආකාරයක් තමයි පෙනෙන්නේ බෙදුම් වාදය නියෝජනය කළ ලංකාවේ පක්ෂය තමයි පෙඩරල් පක්ෂය. ඒක 1965 දී එජාප ආණ්ඩුව සමග සභාගයකට යෑම තමයි මේ සංවිධානවල සිටි දෙමළ තරුණයෝ මහා පාවා දීමක් හැටියට දැක්කේ. පස්සේ මේ දෙමළ තරුණයෝ සංවිධානය වන්නට පටන් ගත්තා. ශිෂ්‍යයන්ව මේකට සම්බන්ධ කළා. මේ ව්‍යාපාරයට තවත් රුකුලක් වුණා. 1970 දී ආණ්ඩුව කරපු තවත් වැඩක් නිසා. ඒක ඓතිහාසික වැරැද්දක්. භාෂාව අනුව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමයක් හඳුන්වා දීම නිසා දෙමළ සිසුන්ට යම් අසාධාරණයක් වුණා. මේ නිසා ශිෂ්‍යයන්ව ඉතාම පහසුවෙන් මේ සංවිධානයට බඳවා ගැනීමට තරුණයින්ට හැකි වුණා. මේ වැරැද්ද හදාගන්නට අවුරුදු 5 ක් විතර ගියා. පස්සේ තමයි දිස්ත‍්‍රික් අනුපාත ක‍්‍රමය හඳුන්වා දුන්නේ. මේ ඓතිහාසික වැරැද්ද පිළිබඳව පසු විපරමක් කරනවා නම් එය සිංහල දෙමළ දෙවර්ගයටම වැදගත්. ඇයි මෙහෙම වුණේ. ලංකාවේ සිංහල දෙමළ දේශපාලන නායකයන් වගකීමෙන් ක‍්‍රියා කළාද? එහෙම වගකීමෙන් ක‍්‍රියා කළා නම් මේ ප‍්‍රශ්න මෙහෙම නොවෙන්නට ඉඩ තිබුණා නේද? යන ප‍්‍රශ්නය අප අපගෙන්ම අසාගත යුතු වෙනවා. මේ යුද්ධය දිනපු හමුදා සෙබළුන්ට මම කතා කළා. ඔවුන් ලැබූ ජයග‍්‍රහණය ගැන ඉතාම ආඩම්බරයෙනුත් කථා කළා. එහෙත් ඔවුන් හැමෝම කිව්වේ මොකක්ද? නැවතත් මෙහෙම දෙයක් නම් එපා කියලයි. දිනුමත් එපා කියලයි.
උපුටා ගැනිම ලංකාදීප
No comments:
Post a Comment